රුවන්මැලි මහා සෑය...
උතුරු මැද පළාතෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහමෙවුනා උයනේ පිහිටා ඇති රුවන්මැලි මහා සෑය සොළොස්මස්ථාන සහ අටමස්ථාන වලින් එකක් වූ ශාරීරික චෛත්‍යයකි. එය දෙස් විදෙස් ජනතාවගේ හෘදයාංග පුද පූජාවන්ගෙන් පිදුම් ලබන අපූර්ව නිර්මාණයකි. සුදෝ සුදු වතින් මහමෙවුනාව පුරා සඳහම් රැස් විහිඳුවමින් වැජඹෙන රුවන්මැලි සෑ රඳුන් ලංකාවේ විශාලතම දාගැබයි. රුවන්මැලි සෑ රඳුන් ඉඳිකිරීම ලක්දිව වංශකතාවෙහි වැදගත් සංධිස්ථානයකි.
කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ වැඩිමහල් පුත්‍රයා ද දේවානම් පියතිස්ස රජුගේ මුණුපුරා ද වූ ක්‍රි. පූ. 161- ක්‍රි. පූ. 137 (වසර 24ක්) මෙරට රජකම්කළ අසහාය ධාර්මිෂ්ට රජ කෙනෙකු වූ වීර දුටුගැමුණු රජතුමා විසින් ඉඳිජරවන ලද රුවන්මැලි සෑ රඳුන්ගේ ගර්භයෙහි සෝණුත්තර නම් මහ රහත් සාමණේරයන් වහන්සේ විසින් නාග භවනෙන් වඩමවා ගෙන එන ලද්දැයි කියැවෙන ද්‍රෝණයක් ( නැලි 16ක් / ලාස් 64ක්) සර්වඟද ධාතූන් වහන්සේලා නිදන් කොට ඇත.
මෙම මහා ස්ථූපය දිය බුබුලක (බුබ්බුලාකාර) හැඩයෙන් නිම කරවා ඇති අතර නිර්මාණකරු විසින් සම්පූර්ණයෙන්ම කළු ගලෙන් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගන්වන ලද එහි ආකෘතිය රුවන්මැලි සෑ රඳුන්ගේ සලපතල මළුවෙහි දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති අයුරු අදටත් දැක ගත හැකි ය.
අඩි 300ක පමණ වටප්‍රමාණයකින් ද අඩි 900ක පමණ රුවන්මැලි මහා සෑය අද වන විට වටප්‍රමාණය අඩි 338ක් ද උස අඩි 948ක් ද පමණ වේ. රන් ආලේපිත කොත සහ චූඩාමාණික්‍ය උස අඩි 25 කි. ගල් පුවරු යොදා නිමවා ඇති සම සතරැස් සලපතල මළුවෙහි එක් අන්තයක දිග අඩි 480ක් වේ. එය අක්කර 5ක පමණ හතරැස් මළුවකි.
රුවන්මැලි මහා සෑය "ස්වර්ණමාලී මහා සෑය", "හේමමාලී මහා සෑය", "රත්නමාලී මහා සෑය", "මහා ථූපය" ආදී නම් වලින් ද හඳුන්වන අතර ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති හෙයින් "අසදෘස මහා ථූපය" ලෙස ද හඳුන්වයි. ස්වර්ණමාලී නම් දෙවඟන වැඩවිසූ රන් තෙළඹු වෘක්ෂය ඉවත්කර එම ස්ථානයෙහි මහා සෑය ඉඳිකර ඇති හෙයින් "ස්වර්ණමාලී මහා චෛත්‍යය" ලෙස හඳුන්වන බව ප්‍රකට ජනප්‍රවාදයකි.
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවේ දී දෙවන පෑතිස් රජතුමා හට ඔහුගේ මුණුපුරෙකු ලෙස මතු උපදින දුට්ඨගාමිණී අභය නමින් ලක්දිව මතු රජවන තෙමේ සර්වඟද ධාතූන් වහන්සේලා තැන්පත් කර එකසිය විසි රියනක් උස් වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපය කරවන බවට අනාවැකි පලකළ සේක. එසේම හෙතෙම තව්තුසාවෙහි "සුධර්මා" නම් දිව්‍ය සභාව පරදවා ලෝවාමහාපාය නම් නව මහල් ප්‍රාසාදය ද කරවන බව ද වදාළේ ය. දේවානම් පියතිස්ස රජු විසින් එම ස්ථානයෙහි මිහිඳු සමිඳු වදාළ අනාවැකි සටහන් කොට ස්ථම්භයක් සෑදවූවේ ය.
"මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව ගෞතම බුදු සසුනෙහි චිරස්ථිතිය පිණිසයි" සිහ නද දෙමින් ලක්දිව රජ පැමිණි දුටුගැමුණු රජතුමා විසින් සිය සීයා වූ දෙවන පෑතිස් රජු විසින් ස්ථම්භයක සටහන් කොට තිබූ ස්ථානයෙහි මහා සෑය සෑදවීමට සිතුවේ ය.
සෑය සෑදවීම උදෙසා අනුරාධපුරයෙන් යොඳුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසල ගඩොල් ද, ඊශාන දිගින් යොඳුන් තුනක් දුරින් ආචාරවිටි නම් ගමෙහි රන් බිජු ද, නැගෙනහිරට සත් යොඳුනක් ගිය තන්හි මහවැලි ගඟ අසබඩ තඹවිට නම් ගමෙහි තඹ සහ යකඩ ද, ඊශාන දෙසින් සතර යොඳුනකට එහා සමන් වැව නම් ගමෙහි මාණික්‍යයෝ ද, දකුණු දෙසට අට යොඳුනක් ගිය කළ අම්බට්ඨකෝල ජනපදයෙහි මහා රිඳී කඳක් ද, පස් යොඳුනක් බටහිර දෙසින් දුරුවේල පටුනෙහි මුතු, පබලු ද, පස් යිඳුනක් උතුරු දිගින් පෙලවැට් ගමෙහි මහා මිණි රුවන් සතරක් ද පහල විණි.
[මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වූ කල වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහා සෑ බිමෙහි රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූ අතර එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. එවිට, දෙව්දුව තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එබිම පිහිටි ශිලාස්ථම්භය ද බැහැර කොට වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණ මාලී මහා ස්ථූපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කළ අවස්ථාවෙහි පියදස්සී නම් මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ දේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වූවාහු ය. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂූන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වූවාහු ය.
ස්වර්ණමාලි මහා චෛත්‍ය ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් ද, එම බෝධීන් වහන්සේ ගේ නැගෙනහිරින් රන් බුද්ධ ප‍්‍රතිමාවක් ද, තවත් සිතුවම් ද කරවා ඇත. එමෙන්ම, ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් ද කරවා තිබේ. සඳුන් තවරූ චෛත්‍ය ගර්භය ආලෝකමත් වීමට එළිය දෙන මැණික් වර්ග ද තැන්පත් කොට ඇත.
ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ, සෝණුත්තර නම් මහ රහත් සාමණේරයන් වහන්සේ විසින් නාග භවනෙන් වඩමවා ගෙන එන ලද ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළඟක් ද රැගෙන ආවේ ය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළඟෙහි තැබුවේ ය. මහා බ‍්‍රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත‍්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක‍්‍ර දේවේන්ද්‍රයා සුවද පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. මහා බ්‍රහ්මයා වාලවිජිනි ඡත්‍රය දරා සිටියදී දුටුගැමුණු රජු විසින් ලක්ෂ සංඛ්‍යාත සඟ රුවන ද කෝටි සංඛ්‍යාත දෙව්, බඹ, මිනිසුන් මැද ද තෙවරක් පූජා කරනු ලැබුවේ ය. ඉක්බිති ධාතු කරඬුව ඍද්ධි බලයෙන් විවෘත විය. ධාතූන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ පරම සුන්දර වූ බුදුරජාණන් වහන්සේ ගේ ශී‍්‍ර ශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට වූ සේක.]
ධාතු තැන්පත් කිරීමේ මංග්ල්‍ය සතුටු සිතින් නිම කළ දුටුගැමුණු රජ තෙමේ ස්ථූපය සම්පූර්ණයෙන්ම නිම කිරීමට පළමුව දිවියෙන් සමුගෙන තුසිත දෙව් ලොව උපන් බව මහා වංශයෙහි සඳහන් වෙයි.
අපි අදටත් මහත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව වැද පුදා ගන්නා දුටුගැමුණු රජු විසින් ඉඳිකළ ස්වර්ණමාලී මහා සෑය තුසිත දෙව් ලොව සළුමිණි සෑයටත් ඉන් එහා අගනිඨා බඹ ලොව සළුමිණි සෑයටත් සමාන්තරව පිහිටා ඇති විශ්වයේ ශ්‍රේෂ්ඨතම ස්ථානයයි.
සයිංසු_යෂ්මින්_සුගතස්ස_ධාතූ
නිම්මාය_රන්_සුජ්ජල_බුද්ධ_රූපං
ස්වර්ණමාලීති_පතීත_නාමං
වන්දා_මහං_ථූපවරං_මහග්ගං
සටහන : 📷 සඳලී ගීත්මා
@සද සෙවණැළි
FB : Sandalee Geethma
🙏🙏🙏