**අද්භූත, මනස්කාන්ත රිටිගල වන රක්ෂිතය**🌿
R. I. T. I. G. A. L. A. ~ S r i L a n k a 🇱🇰
උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව පිහිටා ඇති රිටිගල හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක වනපියසකින් වැසී ඇත. හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන් හැරී අතුරු මගක ගමන් කළ යුතුයි. කොළඹ සිට රිටිගල දක්වා දුර කි. මී. 201ක් පමණ වේ.
සුමිහිරි ඉතිහාස කතාවකට හිමිකම් කියන රිටිගල අද වන විට දෙස් විදෙස් සංචාරකයන් බොහෝමයක නෙත් සිත් බැදගත් අපූරු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වූවකි. ඒවා නම්; ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම කදු වැටිය සහිත මනස්කාන්ත රක්ෂිතය පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් මතින් වේ. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, ජන්තාගාර, පධානගර හා ගල් කුළුණු දක්නට ලැබෙයි.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 වන සියවසේදී චෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් බවට පත් විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්ද වර්තමානයේදී රූස්ස ගස් කොලන් වලින් පිරුණු වන රොදක්න් වැසී පවතී. අතීතයේදී භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා මෙහි වනගතව වැඩ සිටි බවට සාක්ෂි එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වෙයි.
1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වන්නට විය. පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.
රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියකි. මෙය මුල් කාලයේ යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව ජනප්‍රවාදයේ සදහන් කරුණකි. රාවණ සම්බන්දව රිටිගල හා බැදුණු අපූරු ජනප්‍රවාදයක් පැවසෙයි. රාවණ තමන්ට කළ මදිපුංචිකමට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකා පුරයේ සුරක්‍ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්‍ෂ්මන් කුමරු හා අැති වූ යුද්ධයේ දී ලක්ෂ්මණගේ අැති වූ තුවාලයට අවශ්‍ය ඖෂධ සොයා හනුමන්තා ඉන්දියාවේ හිමාලයට ගියත් ඔහුට ඔසුවේ නම අමතක වීම නිසා ඔහු හිමාලයෙන් ඔසු පැළෑටි පිහිටි ප්‍රදේශයම ගලවා ගෙන අා බව සදහන් වෙයි. එම කඳු කොටසින් කොටසක් කැඩී වැටී රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බව ජනප්‍රවාදයකින් පැවසෙයි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගණයේ බෙහෙත් පැළෑටි බොහොමයක් තවමත් මෙම වනයේ ඇති බව පැවසේ.
මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි.
මේ කඳුවැටිය ආශ්‍රිත ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් අැත. සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා අැති බව සදහන් වේ. ක්‍රි. පූ. පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැන කියැවෙයි. ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය කර තනවා තිබේ. පළමුවන සේන ( ක්‍රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්‍රහය දැක්වූ රජකෙනෙකි. පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවද සඳහන් වේ.
ඉංග්‍රීසි පාලන සමයේ 1872 දී ජේම්ස් මැන්ටල් නම් මිනින්දෝරුවා මෙහි මාස තුනක් නැවතී සිට මැනුම් කටයුතු කර අැත. 1890 දී අනුරාධපුර දිසාපති ආර්. ඩබ්. අයිවර්ස් කඳු මුදුන ආසන්න තැනිතලා කොටසක නිවහනක් තනවා ගෙන මෙහි සිසිල් දේශගුණයේ පහස ලබාගෙන තිබෙන බවද කියැවෙයි. හෙන්රි ට්‍රයිමන් 1887 දී රිටිගල ශාක ගැන අධ්‍යයනය කර අැත. පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් 1883 දී රිටිගල පුරාවස්තු ගැන අධ්‍යයනය කර තිබේ.
නුවර කලාවියේ උසම කඳුවැටිය වූ මෙහි උස අඩි 2514ක් (මීටර් 765). අප රටේ මධ්‍ය කඳුකරයත් දකුණු ඉන්දියාවේ කඳුත් අතර පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල නිසා එය භූ විද්‍යාත්මකව ද විශේෂ වූ ප්‍රදේශයකි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත වනාන්තරයක් මෙහි පැවතීමද විශේෂත්වයකි.
මේ නිසාම රිටිගල වනාන්තරය 1931 දී දැඩි රක්ෂිතයක් බවට පත් කර අැත. දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබේ.
රිටිගල කඳුවැටිය තවත් කඳු කිහිපයකින්ම සමන්විත වූවකි. ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පළතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කඳු හතක් එයට අයත්ය. කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක් ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට හැකිය. මෙවැනි පුරාවිද්‍යාත්මක සම්පත් රැසකින් සමන්විත මෙම රිටිගල වනය නරඹන්නන්ට මෙරට ඉතිහාසය පිළිබද විස්මජනක සාක්ෂි පෙන්වා දෙයි.
රිටිගල යනු අපූරු ජෛව විවිධත්වයක් ඇති වනාන්තරයකි. වර්ෂ 1935 දී මෙහි ශාක පිළිබඳ අධ්‍යයනයක් කළ පී. ඩී. ආර්. ජයයූරිය ඕකිඩ් විශේෂ 27ක් සොයාගන්නා ලදි. වර්තමානය වනවිට මෙම කඳුවැටියෙන් හමුවී ඇති ශාක විශේෂ සංඛ්‍යාව 418ක් වේ. ඉන් මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338කි. විශේෂත්වය නම් මේ අතරින් විශේෂ 113ක් තෙත් කලාපයේ දක්නට ලැබෙන ඒවා වීමයි. 2008 දී කළ අධ්‍යයනයකදී පක්ෂි විශේෂ 97ක් මෙහි සරන බව හෙළි විය. අලියා, වලසා, ගෝනා, කොටියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක් ම මෙහි වාසය කරන බවට සාක්ෂි හෙළි වී ඇත.
කඳුවැටියේ පහළම කොටස (බිම් අඩවිය) වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පැතිර ඇති පෙදෙසකි. එහි මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගත හැකියි.
කඳුවැටිය මධ්‍ය කලාපයේ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණයි. මෙම ප්‍රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභව දැකගත හැකිය.
කඳු මුදුනේ ඉහළ කොටසේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැඩී ඇත.
රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක් ද හමුවී තිබේ. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වේ.මීට අමතරව දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක ද මෙහි සුලභව වැවී ඇත.
මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කියන විස්මිත ජෛව විවිධත්වයකින් හෙබි රිටිගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති, දීර්ග ඓතිහාසික වටිනාකමක් ඇති, ඹෟෂධීය වටිනාකමක් ඇති එමෙන්ම පාරිසරික වටිනාකමක් ඇති අපූරු වන පියසක් වීම ශ්‍රී ලාංකික අපි ලද භාග්‍යයකි. එහි අපූර්වත්වය දැක ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් මෙහි පැමිණෙයි.
රිටිගල බලන්නට එන ඔබ එහි පරිසරයේ සිසිල විද පිය සටහන් පමණක් ඉතිරිකර ආපසු යන්නෙකු වේ නම් අගනා බව සංචාරක සහෘදයන්ට මතක් කරන අතර රිටිගල වන රක්ෂිතය හා ඒ හා බැදුණු ෙඑතිහාසික පුරාවෘත්තයන් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කොට තබා ගැනීමට අපි වග බලා ගනිමු.
✍️ | සදලී චන්ද්‍රසේකර - ගිමා - GIMA
📸 | Respective Owners
මූලාශ්‍ර ; www.wikipedia.com
අරිට්ඨපබ්බත හෙවත් රිටිගල කන්ද - එල්ලාවල මේධානන්ද හිමි
මැකී යන වන පෙත් - ඩග්ලස් බී. රණසිංහ