Thursday, 21 May 2020

දිඹුලාගල රජ මහා විහාරය...

උතුරු මැද පළාතෙහි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව පැරණි නගරයට යාබදව පිහිටා ඇති දිඹුලාගල රජ මහා විහාරය අපූරු ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර ස්ථානයකි. ඉතිහාසය දෙස හැරී බලන කල අනුරාධපුර සහ පොළොන්නරුව යුග වලදී බොහෝ සෙයින් කතා බහට ලක්වන සහ එකල බැබලුනු පුදබිමක් වූ දිඹුලාගල රජමහා විහාරය අද වන විටත් හෙළදිව ප්‍රකට සිද්ධස්ථානයකි. පොළොන්නරුව පුරාණ නගරයට කි. මී. 16ක් ගිනිකොණ දෙසින් පිහිටා ඇති මෙම ස්ථානය වන අරණකින් මැදිව ඇති අතර එය කඳු වළල්ලකින්ද සමන්විත වේ. පොළොන්නරුව නගරයේ සිට කි. මී. 23ක් දුරින් පිහිටා ඇති මෙම පුද බිම මනම්පිටියෙන් හැරී මහියංගනය දක්වා දිවෙන මාර්ගයෙහි දළුකාන ගම්මානය යරහා යාමේදී හමුවේ.

දිඹුලාගල කඳු වළල්ලෙහි ලෙන් 113ක් පිහිටා ඇති අතර ඒවායෙහි කටාරමට ඉහළින් දක්නට ලැබෙන අක්ෂර පූර්ව බ්‍රහ්මීය අක්ෂර බව හෙලිදරව් වී තිබේ. දිඹුලාගල කන්ඳ උසින් මිටර් 534ක් වන අතර අතීතයේ දී මෙම කඳු පන්තිය "උඳුම්බර ගිරි" සහ "දුම්මරක්ඛ පබ්බත" යන නම් වලින් ද හඳුන්වා ඇති වග සඳහන් වේ. තවත බ්‍රිතාන්‍යයන් විසින් "ගනර්ස් කොයින්"  නමින් මෙම කන්ඳට නම් පට බැඳ ඇත.

මෙම දිඹුලාගල කඳු වැටිය අවට වන අරණෙහි විජයාගමනයට පෙර යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විසූ බව ජනප්‍රවාදයේ පැවසේ. කුවේණිය ද යම් කලෙක මෙහි දිවි ගෙවූ වග ජනප්‍රවාදයේ පවතින්නකි.

පණ්ඩුකාභය කතා වස්තුවෙහි ද දිඹුලාගල අඩවිය පිළිබඳව ලියවී ඇති අතර පණ්ඩුකාභය කුමරු සිය මාමාවරුන්ට එරෙහිව සටන මෙහෙයවීම සඳහා මෙමෙ ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැවසේ. පණ්ඩුකාභය රජ තෙමේ චිත්‍ර සහ කාලවේල යක්ෂ සේනාධිපතීන් උදෙසා දිඹුලාගල අඩවියෙහි විහාරයට නැගෙනහිර දෙසින් දේවාලයක් තැනවූ බව කියැවේ. අනුරාධපුර යුගයෙහි රාජ්‍ය කළ පණ්ඩුකාභය රජුගේ පුත් වූ මුටසිව කුමාරයා පාලි කුමරිය මව කොටගෙන දිඹුලාගල ගල් ලෙනෙහිදී උපත ලද බව සඳහන් වේ. මෙම විහාරය දේවානම් පියතිස්ස රජ සමයෙහි ඉඳි වූ ලංකාවේ ප්‍රථම විහාරස්ථාන අතරින් එකක් වේ.

පොළොන්නරුව යුගයේ දී වැඩ විසූ පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ සහ මලියදේව  මහ රහතන් වහන්සේ දිඹුලාගල විහාරස්ථානයේ වැඩ විසූ බව පොත පතෙහි සඳහන් වේ. තවද විද්‍යා චක්‍රවර්තී සහ ගුරුළුගෝමී යන පඬිවරුන් ද දිඹුලාගලින් බිහි වූ දක්ෂ විද්‍යා කීර්තීන් වේ. පොළොන්නරුව යුගයේ ක්‍රි. ව. 1153 දී මහා පරාක්‍රමබාහු රජු රජ වන අවඅවස්ථාවේ දී ලක්දිව බුද්ධ ශාසනය පිරිහී සංඝ භේදයක් පැවති අවධියක් වූ අතර එකල ප්‍රමුඛව ක්‍රියා කර ඇත්තේ මෙම දිඹුලාගල විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ මහා කාශ්‍යප නාහිමිපාණෝ "පොළොන්නරු කතිකාවත" ලෙස හැඳින්වෙන ශාසන සංශෝධනය ඇති කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරමින් ලක්දිව විනය සංඝායනාවක් පවත්වා බුද්ධ ශාසනය රැක ගැනීමට පෙරටුගාමීව ක්‍රියා කර ඇත. මහා කාශ්‍යප හිමි පාණන් එවකට ලක්දිව විසූ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධව ශ්‍රේෂ්ඨතම පඬිවරයා වීහ. මහා පරාක්‍රමබාහු රජු විසින් ලක්දිව පාලනය කරනු ලැබූ මෙසමයෙහි දිඹුලාගල මෙරට ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය වූ බව ද සඳහන් වේ. තවද එකල මෙම ආගමික සිද්ධස්ථානය ලොව පතල විද්‍යා පීඨයක් ලෙසද ප්‍රචලිත වීය.

අනුරාධපුර සහ පොළොන්නරු යුග වලදී අතිශයින්ම ප්‍රකට වූ මෙම සිද්ධස්ථානය කලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව පිරිහීමට ලක්විය. පසුව වැදි ජනතාව වාසය කළ දඩබිමක්ව පැවති දිඹුලාගල ලෙන් වෙත 1954 වසරේදී මාතර කිතලගම සීලාලංකාර හිමියන් වැඩම කර පෙරටුගාමීව දිඹුලාගල විහාරස්ථානය සංවර්ධනය කර ඇත. උන්වහන්සේ 1995 වසරේදී කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වී වදාළේය.



 


 


 



අහස් මාළිගය...

දිඹුලාගල  කඳු වළල්ලෙහි උසම ස්ථනය අහස් මාළිගය ලෙස හඳුන්වයි. මෙහි ඉඳිකර ඇති දාගැබ පහළ සිට බලන විට රමණීයව දිස්වෙයි.

මාරා වීදිය...
කන්ඳෙහි එක් කොටසක පැරණි බිත්ති කොටස් සහිත ගුහා පිහිටා ඇති ප්‍රදේශය මාරා වීදිය ලෙස හඳුන්වනු ලබයි.

ඖෂධ පොකුණ සහ පස්බුදු ලෙන...
මාරා වීදියෙහි පස්බුදු ලෙන දැකගත හැකි අතර ගල් ලෙන් වලට යාබදව පොකුණු දෙකක් දක්නට ලැබෙයි. ඉන් එක් පොකුණක් මුලින්ම බවුන් වැඩූ භික්ෂූන් වහන්සේ භාවිතා කළා යැයි කියැවෙන "ඖෂධ පොකුණ" නමින් හැඳින්වෙන පොකුණ වේ.


පල්ලිගොඩ ගල්ගේ...

විහාරයේ සිට කි. මී. 4ක් පමණ දුරින් පිහිටා ඇති සිතුවම් කළ ල්ෙෙෙෙෙෙනක්ම්මමේ නමින් හඳුන්වයි. 1987 වසරේදී එච්. සී. පී බෙල් මහතා විසින් මෙම සිතුවම් හඳුනාගත් බව වාර්තා වේ.

නාමල් පොකුණ...
අනුරාධපුර යුගයට අයත් පබ්බත විහාරයක් "නාමල් පොකුණ" ලෙස හඳුන්වන අතර විහාරයට නුදුරින් ගල් පර්වත අතරින් මෙම නටබුන් ස්ථානය පිහිටා ඇත.

කොස්ගහ උල්පත...
මෙය විහාරයට කි. මී. 4ක් දුරින් පිහිටා ඇති වන ලෙන් දෙකකින් සහ ගඩොලින් තැනවූ සැතපෙන බුද්ධ ප්‍රතිමාවකින්ද සමන්විත වූ නටබුන් ස්ථානයකි.

සෙල්ලිපි...
ක්‍රි. පූ. 3 වන සියවසට අයත් සෙල්ලිපි 4ක් දිඹුලාගල විහාරස්ථානය අවටින් හමුවන අතර ලක්දිව බුදු දහම ව්‍යාප්ත වූ කාලයේ පටන්ම දිඹුලාගල අඩවියෙහි භික්ෂූන් වහන්සේලා වාසය කර ඇති බව ඉපැරැණි සෙල්ලිපි වලින් විද්‍යාමාන වේ.

සටහන : සඳලී ගීත්මා
📷          : Sandalee Geethma
@සද සෙවණැළි