* විශ්මිත අපූරු සීගිරි පර්වතය......
සීගිරිය වනාහි දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් බැදගත් අපූරු ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශයේ කිඹිස්ස ග්‍රාමය ආසන්නයේ පිහිටා ඇති සීගිරි පර්වතය සහ උද්‍යානය ශ්‍රී ලාංකේය අභිමානය විදාපාන ලොවම මවිත කළ අපූරු නිර්මාණයකි. ලෝක පුදුම අතරට එක් වූ අසිරිමත් සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාස පොතෙහි ලියවුණු සුන්දර කතා වස්තුවකට හිමිකම් කියන්නකි.
ක්‍රි.ව. 477 දී කාශ්‍යප රජු අතින් නිම වූවා යැයි කියැවෙන සීගිරිය පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඉන් බොහෝ ඈත අතීතයකට දිව යන්නා වූ කතාපුවතකි. රාවණා රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි ද මතයක් ඇති මුත් තවම සාක්ෂි හෙළිදරව් වී නොමැත. එමෙන්ම හමු වී ඇති සෙල්ලිපි රැසකින්ම හෙළිදරව් වන්නේ දෙවනපෑතිස් යුගයේදීත් සීගිරිය ආර්යය ජනාවාසයක්ව පැවති බවයි. කාශ්‍යප රජතුමා විසින් සියතින් තම පියා ධාතුසේන රජු මිය යෑමෙන් අනතුරුව තම එකම සොහොයුරා වූ මුගලන් කුමරුගෙන් බේරී සිටීමට සීගිරි පර්වතය මස්තකයෙහි කාශ්‍යප රජු තම මාලිගාව ඉදිකළ බව කියැවේ.
වසර 18කට පසු සිය මලනුවන් වූ මුගලන් කුමරු කාශ්‍යප සමග යුද්ධයට පැමිණි අවස්ථාවේදී මඩ වලකින් එතෙර වීමට නොහැකිව තනි වූ කාශ්‍යප රජු සියතින් ගෙල සිදගෙන මියගිය බව සදහන් වේ. කාශ්‍යපගේ මරණයෙන් පසු රජ වූ මුගලන් රජු විසින් තම සොහොයුරා වූ කාශ්‍යපගේ භෂ්මාවශේෂ තැන්පත් කර සෑයක් කර වූ බවත් එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ.
සීගිරි පර්වතය නැගෙනහිර දෙසින් බලන විට සිංහයෙකුගේ පූර්ව ස්වරූපයක් ගන්නා අතර පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි. එබැවින් මෙම පර්වතය සිංහගිරිය නම් වූ අතර පසු කාලයේදී එය සීගිරිය බවට පත්විය. සීගිරිය ඉහළ මාලයට පිවිසෙන දොරටුව අසල ඇත්තේද සිංහ පාදයක් යන වග සදහන් වූවත් එය කුරුළු පාදයක් බවට සාක්ෂි හෙළිදරව් වී ඇත.
ඉතාමත් ආරක්ෂිතව නිමවූ සීගිරිය වටා ප්‍රාකාර කීපයකි. එපමණක් නොව, සීගිරි උද්‍යානය දිය අගලකින්ද වට වී තිබේ. ප්‍රාකාර, සීතල උද්‍යන, ජල තටාක, පොකුණු, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සහ සීගිරි කුරුටු ගී, සිතුවම් ආදියෙන් විස්මිත වූ සීගිරිය එහි අපූර්වත්වය නිසාම ලෝක උරුමයක් ලෙස ලොව ප්‍රචලිත වී ඇත. සීගිරි පර්වතය පහළ සිට ඉහළට අඩි 300ක් උසය.
සීගිරි පර්වතය මුදුනෙහි ඉදිකෙරුණු රජ මාලිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශ්‍රී ලංකාවේ ඉපැරණි දියුණු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබදව සාක්ෂි පලකරයි.
සීගිරියෙහි ජල උද්‍යාන සහ එහි ජලවහන පද්ධතිය ඉපැරැණි විස්මිත ඉංජිනේරු ශිල්පයෙහි අභිමානය ගෙනහැර දක්වයි. වැසි වහින විට තවමත් ක්‍රියාත්මකවන සීගිරි ජලමල් පද්ධතිය නූතන ඉංජිනේරුවන් පවා මවිතයට පත්කරන්නකි. සීගිරි බිතුසිතුවම් එකල චිත්‍ර ශිල්පීන්ගේ අතිදක්ෂ හැකියාව පිළිබිඹු කරයි. චිත්‍ර ඇදීමේදී මී පැණි, හඹස් මැටි, දහයියා මිශ්‍රණයක් සහ සර්ණ ගැන්වීමේදී ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය යොදාගෙන ඇත. රන්වන් හා නීල වර්ණයෙන් යුතු කාන්තා රූප 22ක් දැනට සීගිරි බිතුසිතුවම් අතර දක්නට ලැබේ. මෙම කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බව සී.පී. බෙල් මහතාගේ අදහසයි.
සීගිරි කැටපත් පවුර සීගිරියෙහි අපූර්වත්වය තව තවත් ඉස්මතු කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ කතාබහට ලක්වන තවත් වැදගත් අංගයකි. මෙහි හදුනාගත හැකි ගී නිර්මාණ 700ක් පමණ දක්නට ලැබෙයි. ඒවා විවිධ පුද්ගලයන් විසින් ලියන ලද ඒවායැයි කියැවේ. ඒවා අනුරාධපුර යුගයෙහි අග භාගයේදී එනම්, ක්‍රි.ව. 8, 9 කාලයේදී ලියවී ඇත. එමෙන්ම ක්‍රි. ව. 10, 12 ශත වර්ෂ වල ලියන ලද ඒවාද ඒ අතර වේ. සිංහල භාෂාවෙහි ක්රමික විකාශනය මෙම සීගිරි කැටපත් පවුර තුළින් හෙළිදරව් වේ.
ක්‍රමයෙන් ඝන කැලෑවෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගනු ලැබුවේ 1831 දීමේජර් එච්. ජොර්බ්ස් මහතා විසිනි. ඉන්පසු ඇඩම්ස් සහ ජේ. බෙල් යන අය 1853 වර්ෂයේදී සීගිරිය සංචාරය කර මුලින්ම සීගිරි පර්වතය මතට නැගි සංචාරකයන් බව පැවසෙයි. 1844 දී බෙල් මහතා විසින් සීගිරිය පිළිබදව ප්‍රථම පුරාවිද්‍යාත්මක ගවේෂණය ආර්ම්භ කර ඇත. 1982 වර්ෂයේදී UNESCO සංවිධානය මගින් සීගිරිය ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.
සංචාරකයන් අතර බොහෝ කතාබහට ලක් වන සහ ඔවුන්ගේ නෙත් සිත් වශීකෘත කර ඇද බැද ගන්නා සීගිරිය...ශ්‍රී ලාංකීය ඉතිහාසයෙහි අතිශය විස්මිත නිර්මාණයක් වන අතර එය ශ්‍රී ලාංකීය ඉපැරැණි සංස්කෘතිය සහ පැරැන්නන්ගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ කෞශල්යයයෙහි අපූර්වත්වය සම්ස්ත ලෝකයා හමුවේ තබන දැවැන්ත නිර්මාණයකි.
සටහන : සදලී ගීත්මා